හෙඩ් ගෑස්කට් ගැන දැනගනිමු

75

මොකක්ද මේ හෙඩ් ගෑස්කට් එක කියන්නෙ? ගොඩක් අය මේ ගැන වැඩි සැළකිල්ලක් නෑ. අලුත් වාහන පදින අය කොහෙත්ම
මේ ගැන සැළකිල්ලක් දක්වන්නෙ නෑ. සැළකිල්ලක් දක්වන්න එතරම් අත්‍යාවශ්‍යතාවයකුත් නෑ. ඔන්න ටිකක් පරණ වාහනයක්
පදින කෙනෙක් තමයි මේ ගැන සැළකිල්ලෙන් ඉන්න ඕන.

මේ හෙඩ් ගෑස්කට් එක තියෙන්නෙ එන්ජින් බ්ලොක් එකේ උඩ හෙඩ් එකට යටින්. මේ හෙඩ් ගෑස්කට් එකේ මූලික අරමුණ
තමයි එන්ජිමේ සම්පීඩනය තබාගැනීම සහ එන්ජිම ඇතුළෙ දුවන ද්‍රව වර්ග 3 වෙන වෙනම වෙන්කොට තබාගැනීම. ඉතින්
මේ ගෑස්කට් එක blow වුනා කියන්නෙ අපි ඉහත කියපු කරුණු කාරනා හරිහැටි ඉෂ්ඨ කිරීමට නොහැකිව එන්ජිම ලොකු
ප්‍රශ්ණ ගොඩකට මුහුණදීම. ගෑස්කට් එක නම් මහ ලොකු ගානක් වෙන්නෙ නෑ. හැබැයි ඕක මාරු කරන්න එන්ජිම ගලවන්න
ගියාම ඕකට යන කාලය ශ්‍රමය ගත්තම එතරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි ගෑස්කට් මාරු කරනවා කියන්නෙ.

හරි අපි දන්නවා සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමක සිලින්ඩරයක් තුළ වායු/ඉන්ධන මිශ්‍රණය දහනය ස්පාක් ප්ලග් එක
මඟින් සිදුකරනවා. එම දහනයේ පිපිරුමත් සමඟ පිස්ටන් චලනය වෙනවා. ඒත් එක්කම ක්‍රෑන්ක්ෂාෆ්ට් එක කැරකෙන්න
පටන්ගන්නවා. ඉතින් මේ කැරකැවුම් බලය ගියර් පද්ධතිය හරහා රෝදවලට දෙනවා. ඉතින් මේ හෙඩ් ගෑස්කට් එක අර
සිලින්ඩරය ඇතුලත පිපිරුම් ක්‍රියාවලිය සීල් කරලා තියාගන්නවා.

ඒ වගේම අනිත් අතට එන්ජිමේ කොටස් නිදහසේ අඩු ඝර්ශණයකින් චලනය වීමට එන්ජින් ඔයිල් අඩංගුවනවා. කූලන්ට්
එන්ජිමේ උෂ්ණත්වය පාලනය කරනවා. හෙඩ් ගෑස්කට් එකෙන් මේ එන්ජින් ඔයිල්, කූලන්ට් සහ වායු/ඉන්ධන මිශ්‍රණය එකට
මිශ්‍ර නොවීමට වෙන වෙනම වෙන්කොට තබනවා.

හෙඩ් ගෑස්කට් එක Blow වීමට හේතු මොනවාද?

සාමාන්‍යයෙන් හෙඩ් ගෑස්කට් එකක් ෆේල් විය හැකි ප්‍රධාන හේතු 3කි

Operation- Ignition timing වැරදි වීම හෝ cooling system එක ප්‍රමාණවත් නොවීම

Installation- සමහර වාහන නිශ්පාදකයන් එන්ජීමේ කොටස් නිපදවීමට යොදාගත් අමුද්‍රව්‍ය, ඇණ සහ සීලර් හෝ
එන්ජින් ව්‍යුහය දෝෂ සහිත වීම

Design- සමහර නවීන වාහන අධික උෂ්ණත්වයට ඔරොත්තු නොදීම නිසා ගෑස්කට් දුර්වල වීම හෝ එන්ජින් ගැටලු
ඇතිවීම

හෙඩ් ගෑස්කට් එකට ෆේල් වුනාම ඇතිවන ප්‍රතිවිපාක මොනවාද?

හෙඩ් ගෑස්කට් එක ෆේල් වුනාම අර අපි මුලින් කියපු ද්‍රව වර්ග 3 තම තමුගෙන් කාර්යබාරයන් ඉටුකිරීමට අපොහොසත්
වෙනවා. ඒක කෙලින්ම එන්ජිම කාර්යක්ෂමතාවයට බලපානවා. ඒත් එක්කම එන්ජිමේ අනිත් කොටස් අකාර්යක්ෂමවීමට
පටන්ගන්නවා. එන්ජිම ටිකෙන් ටික අඩපණවීමට පටන්ගන්නවා.

Liquid අඩුවුනොත්

ගෑස්කට් එක ෆේල් වුනාම ඉන්ධන, කූලන්ට් හෝ එන්ජින් ඔයිල් ලීක් වෙන්න පටන්ගන්නවා. ලීක් වෙනවා කියන්නෙ එන්ජිමට
අවශ්‍ය ද්‍රව ප්‍රමාණය අඩුවෙන්න පටන්ගන්නවා. අපි හැමෝම දන්නවා කූලන්ට් අඩුවුනාම එන්ජිමේ උෂ්ණත්වයටත් ඔයිල්
අඩුවුනාම එන්ජිමේ කොටස් වලටත් අහිතකර බලපෑම් ඇතිවන බව.

ඉන්ධන, කූලන්ට් හෝ ඔයිල් සමඟ මිශ්‍ර වුවහොත්

ගෑස්කට් එක ෆේල් වුනාම අපි කියපු ආකාරයට ද්‍රව 3 මිශ්‍ර වෙනවා. කුලන්ට්, සිලින්ඩර ඇතුළට ලීක් වෙනවා කියන්නෙ ඒක
බරපතල හානියක්. කූලන්ට් වල සම්පීඩනය වැඩිවෙලා එහි උෂ්ණත්වය අධික ලෙස ඉහළ නගිනවා. ප්‍රතිඵලය ඇදගැසුනු හෝ
කැඩුනු පිස්ටන්, වෑල් සහ අනෙකුත් එන්ජින් කොටස්. සයිලන්සරයෙන් සුදු දුම පිටවීම ඉන්ධන සමඟ කූලන්ට් මිශ්‍රවී ඇතැයි
කියන තවත් එක් සලකුණක්. සුදු දුමෙහි මද වශයෙන් වාෂ්ප අඩංගුවනවා. එතකොට හානි වෙන්නෙ catalytic
converter එක. ඔය අභ්‍යන්තර දහනයට එන්ජින් ඔයිල් මිශ්‍ර වුනාම ඔයිල් දහනයක් සිදුවනවා. ඉතින් සයිලන්සරයෙන්
නිල් පැහැති දුමක් පිටවනවා නම් ඒ ඉන්ධන සමඟ ඔයිල් මිශ්‍රවීමක්.

ඔයිල් සමඟ කූලන්ට් මිශ්‍ර වුවහොත්

ඔයිල් සහ කූලන්ට් මිශ්‍රවීමෙන් දෙකම අපිරිසිදු වෙනවා. මෙ දෙන්නගෙ කාර්යන් වෙන්නෙ ලිහිසිවීම සහ සිසිල් වීම. මේ දෙක
අඩපණ වෙනවා කියන්නෙ එන්ජිමට ලොකු හානියක්. මේක හොයාගන්න එතරම් අපහසු නෑ. මෙවැනි අවස්ථාවක කූලන්ට්
තෙල් ගතියක් හා දුඹුරු පැහැයක් ගන්නවා. ඒ වගේම එන්ජින් ඔයිල් milk chocolate පැහැයක් ගන්නවා. අන්න ඒකයි
දිනපතා වාහනේ පදින්න කලින් තෙල් වතුර බලන්න කියන්නෙ. මේ වගේ දෙයක් වෙනවා නම් ලොකු හානියක් වෙන්න කලින්
මුලින්ම අඳුරගන්න පුලුවන්.

(Visited 8,349 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment