Exhaust Back Pressure මිත්‍යාව

67

Exhaust එක ලොකුවෙන්න එන්ජිමේ back pressure එක වැඩි වෙනවද? Exhaust තියරිය ගැන ගොඩක් අය වරද්දගන්න තැනක් තමයි මෙතන. ගොඩක් අයට මේ ගැන තියෙන්නෙ වැරදි වැටහීමක්. ඒ නිසා අද අපි මෙහි ඇත්ත නැත්ත ගැන කතා කරමු.

Exhaust මූලික තියරීය මොකක්ද?
Exhaust system එක නිර්මාණය කරලා තියෙන්නෙ වාහනේ අභ්‍යන්තර දහන එන්ජිමෙන් පිට කරන දහන වායුව ඉක්මණින් හා කාර්‍යක්ෂමව පිටකිරීමටයි. හැබැයි මේ දහන වායුව සුමටව ගලාගෙන යන්නෙ නෑ. මේ වායුව උපදින්නෙ පල්ස් ආකාරයට. සාමාන්‍යයෙන් සිලින්ඩර 4 එන්ජිමක එක් සම්පූර්ණ ක්‍රියාවලියකදි පල්ස් 4ක් උපදිනවා, සිලින්ඩර 6ක පල්ස් 6ක් උපදිනවා. ඉතිං මේ ආකාරයට අඛණ්ඩව නිපදවෙන දහන වායුව පිරීම නිසා ඒවා එළියට පිටවීමට පීඩනයක් ඇති වෙනවා. මෙන්න මේ පීඩනය තමයි back pressure කියන්නෙ.

Back pressure සහ ප්‍රවේගය
ගොඩක් අය විශ්වාස කරනවා පළල් පයිප්ප වල වායු විමෝචනය සිහින් පයිප්ප වලට වඩා කාර්යක්ෂම වැඩියි කියලා. බැලූ බැල්මට ඒ කතාවෙ වැරැද්දක් නෑ කියලා තමයි හිතෙන්නෙ. මොකද පළල් පයිප්ප වල සිහින් පයිප්ප වලට වඩා ඉඩ වැඩියි. නමුත් ඒ කතාව වැරදියි. අන්න මෙතනදි තමයි exhaust VELOCITY එහෙමත් නැත්නම් exhaust ප්‍රවේගය කියන එක මතුවෙන්නෙ. හිතන්න ගෙදර වත්තේ තියන වතුර හෝස් එක. ඔය නිකම් වතුර ඇරලා බලන්න, වතුර ඔහේ ගලාගෙන වැටෙයි. නමුත් හෝස් කට බාගෙට ඇඟිල්ලෙන් තද කරගෙන බලන්න. වතුර වැඩි පීඩනයකින් වැඩි වේගයකින් විදී. අන්න ඒ සිද්ධාන්තෙ වගේ තමයි මේකත්. exhaust නිර්මාණකරුවන් හොඳින් දන්නවා වායු විමෝචන පරිමාව සහ ප්‍රවේගය සමබර කරමින් exhaust නිපදවන්න.

ඔබට අවශ්‍ය නම් දහන වායුව ඉක්මණින් සහ වේගයෙන් පිටකරන්න, ඔබට අවශ්‍යවන්නේ තිබෙනවාට වඩා සිහින් පයිප්පයක්. හිතන්න ඔබ සතුව ඇත්තේ 3″ පයිප්පයක් කියා, ඔබ ඒ වෙනුවට 2″ පයිප්පයක් සවිකළ හොත් 3″ එකට වඩා වේගයෙන් 2″ එකේ වායුව පිටවේ. ඒ වගේම 2″ පයිප්පයේ ප්‍රවේගයත් වැඩියි.

හැබැයි හොඳින් මතක තබාගන්න අනවශ්‍ය ප්‍රමාණයට වඩා පයිප්පය කුඩාවීමත් හොඳ නැහැ. එවිට පයිප්පයේ විවරය අසළ පීඩනය වැඩිවී දහන වායුව ආපස්සට ගමන් කරන්න පටන්ගන්නවා. නිකමට හිතන්න අර වතුර හෝස් එකේ උදාහරණය. අපි හෝස් කට සම්පූර්ණයෙන්ම වැහුවොත්? සමහර විට ටැප් එක ළඟින් ගැලවිලා යන්න වුනත් බැරි නෑ. හරි කොහොම නමුත් කුඩා පයිප්පය අඩු rpm එකකදි ඉහල ප්‍රවේගයක් ඇති කරනවා. හැබැයි rpm එක වැඩිවෙනකොට අනවශ්‍ය පීඩනයක් ඇති කරනවා.

ගොඩක් ඉන්ජිනේරුවො වාහන වැඩකරන්නෙ මෙන්නෙ මේ සිද්ධාන්තය උඩ. උදාහරණයක් විදිහට ෆෙරාරි මෝටර් රථ වල පයිප්ප 2ක් තියනවා. අඩු rpm එකකදි එක පයිප්පයක් ඇරිලා සාමාන්‍ය ප්‍රවේගය පවත්වාගෙන යනවා. rpm එක වැඩිවන විට අනිත් පයිප්පයත් ඇරෙනවා.

Back pressure and Big pipes
ගොඩක් අපේ අය වාහන ගත්ත ගමන් කරන්නෙ බීට් එකක් තියන එක. සාමාන්‍යයෙන් විශ්කම්භය 3″ වගේ තමයි ගොඩක් අය තියෙන්නෙ. හැබැ‍යි එහෙම මාරු කරාට පස්සෙ ගොඩක් අයට තේරෙනවා පොඩි power loss එකක්. ඉතිං එතකොට ඕන කෙනෙක්ට හිතෙන්නෙ “මගේ ලොකු exhaust එකෙන් සම්පූර්ණ back pressure එක දුන්නට power මදි, ඒ නිසා මොටර් එකේ බලය වැඩි කළ යුතුයි” කියලා. හැබැයි ඔයාට අමතක වුනාද පයිප්පෙ ලොකු වුනාට පස්සෙ ප්‍රවේගය අඩුයි කියලා?

ප්‍රවේගය මේ තරම් වැදගත් ඇයි?
දහන වායුව පිට කිරීමේ වේගය වැඩිවෙන්න වැඩිවෙන්න ඇතුළත දහන වායුව පිරෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නෙ අපි මුලදිම කිව්ව පීඩනය අඩුයි. ඉතිං පීඩනය අඩුවෙන්න එම ස්ථානයේ රික්තකයක් ඇතිවී ඊට පසුපසින් ඇති වායුව ඇදලා ගන්න බලනවා. ඉතිං එන්ජිමේ ක්‍රියාවලිය කාර්යක්ෂමයි වගේම වැඩි බලයකුත් නිපදවෙනවා. මේකට හොඳම උදාහරණයක් තමයි බලන්න වාහනයක් වේගයෙන් දූවිලි සහිත පාරක යනකොට. වාහනේ ඉදිරියට ඇදෙනකොට වාහනය පසුපස පීඩනය අඩුයි. ඉතින් ඒ අඩු පීඩනය සහිත තැනට දුවිලි ඉක්මණින් ඇදෙනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට දූවිලි සහිත පාරක ගියාට පස්සෙ වාහනේ පසුපස වීදුරුවෙ දූවිලි තට්ටු ගණන් බැඳිලා තියෙන්නෙ.

ගොඩක් exhaust නිර්මාණකරුවන් උත්සහ කරන්නෙ පුලුවන් තරම් exhaust එකේ දිග වැඩි කරන්න. මොකද ඒකෙන් වේගවත් වායු ගමනාගමනයක් වගේම විශාල ප්‍රමාණයක අඩුපීඩන ප්‍රමාණයක් ලබාගත හැක.

අපේ ගොඩක් අය වාහනේ ශබ්දය වැඩි කරගන්න විශාල exhaust සවිකරනවා. නමුත් ගොඩ දෙනෙක් දන්නෙ නෑ ඒකෙන් එන හඬ ප්‍රබෝධමත් වුනාට ඒකෙන් අපතේ යන බලය කොපමණද කියලා. ඒ නිසා ඒ ගැන සැළකිල්ලෙන් කටයුතු කරන්න.

(Visited 1,633 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment