ක්ලච් ලෙඩ – Slip වීම

64

සාමාන්‍යයෙන් මැනුවල් ගියර් පද්ධතියක් කියන්නෙ ඔටෝ ගියර් පද්ධතියකට වඩා reliable. කිසිදු කරදරයක් නැතිව සැතපුම් 100,000ක් දුවන්න පුලුවන් ඔබ හරියට පාවිච්චි කරොත්. හැබැයි මැනුවල් ගියර් පද්ධතියක එකම දුර්වල ස්ථානය තමයි කල්ච් එක කියන්නෙ. එන තරමක් ප්‍රශ්ණ එන්නෙ ක්ලච් එකට වගේම ගෙවෙන තරමක් ගෙවෙන්නෙත් ක්ලච් එකයි. පුදුමයක් නෙවෙයි මාරු වෙන ගියර් එකක් ගියර් එකක් ගානෙ ක්ලච් එක disengage and engage වෙනවා. ඒ විතරක්ද ට්‍රැෆික් එකේ යනකොට හැමතිස්සෙම කකුල ක්ලච් එක උඩ. ඉතිං කාලයත් එක්ක ක්ලච් එක ස්ලිප් වෙන්න, දෙදරන්න සහ අමුතු ශබ්ද නගන්න පටන්ගන්නවා.

ඒ විතරක් නෙවෙයි ඇයි සමහර එන්ජින් වලින් හෝ ගියර් පද්ධතියෙන් ලීක් වෙන ඔයිල් ක්ලච් එකට වැටීම. disengagement ප්‍රශ්ණ එන්න හේතු ලෙස faulty hydraulic linkage, clutch cable or fork ද අනවශ්‍ය ශබ්ද නිකුත්වීමට හේතු ලෙස bad release bearing or pilot bearing or bushing ද සැළකිය හැක.

Slipping Clutch
ක්ලච් වල එන ප්‍රධානම ලෙඩක් තමයි මේ ක්ලච් ස්ලිප් වීම කියන්නෙ. ඇත්තටම ක්ලච් එක ස්ලිප් වෙන්න ඕන. ඒ ක්ලච් එක engage වෙන වෙලාවට. එතකොට තමයි වාහනේ ගැස්සෙන්නෙ පනින්නෙ නැතුව ගානට smooth එකේ ඉස්සරහට යන්නෙ. ඒ වගේම ක්ලච් එක ස්ලිප් වෙන්න ඕන ගියර් මාරුවෙනකොට ගියර් පද්ධතියට සහ drivetrain එකට ඇතිවන කම්පනය නැති කරන්න. හැබැයි ක්ලච් එක සම්පූර්ණයෙන්ම නිදහස් කළ වෙලාවට ක්ලච් එක හොඳින් අල්ලාගෙන එන්ජිම හා ගියර් පද්ධතිය අතර ස්ථීර සම්බන්ධතාවයක් පවත්වාගෙන ක්‍රියාකළ යුතුයි. ඉතිං එහෙම වෙන්නෙ නැත්නම් ඒ තමයි ක්ලච් එක ස්ලිප් වීම.

ගොඩක් වෙලාවට ස්ලිප් වෙන්නෙ එන්ජිමට ලොකු ලෝඩ් එකක් ආවම තමයි. ඒ කියන්නෙ හයි ගියර් එකක හෙමින් යනකොට, කන්දක් නගිනකොට, එකපාර වාහනයක් ඔවර්ටේක් කරන්න ස්පීඩ් කරනකොට හෝ බරක් දාගෙන හෝ ඇදගෙන යනකොට ක්ලච් එක ස්ලිප් වෙන්න පුලුවන්.

මුලින්ම පොඩ්ඩ පොඩ්ඩ තමයි ස්ලිප් වෙන්න, පස්සෙ පස්සෙ තමයි වැඩේ ලොකු වෙන්න. ස්ලිප්වීමෙන් ඝර්ශණය වැඩිවන අතර ඒ නිසා උෂ්ණත්වයද වැඩිවෙනවා. ඉතිං ක්ලච් එකේ උෂ්ණත්වය ඉහළ යනකොට ග්‍රිප්වීමේ හැකියාව අඩුවෙනවා. එතකොට තව තවත් ස්ලිප් වෙනවා, තව තවත් උෂ්ණත්වය වැඩිවෙනවා. ඉතිං මේ වැඩේ දිගටම වෙනකොට එක පිච්චෙනවා. ඒකෙන් ෆ්ලයිවීල් ප්‍රෙශර් ප්ලේට් වලට හානි වෙනවා. ඒ වගේම පිච්චෙන ගඳකුත් එනවා.

සාමාන්‍යයෙන් වාහනය සෑහෙන්න දුර දිව්වට පස්සෙ කාලයත් එක්ක ගෙවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැ‍යි ඊට අමතරව ක්‍රෑන්ක්ෂාෆ්ට් සීල් එකෙන් හෝ transmission input shaft seal එකෙන් ලීක් වෙන ඔයිල් වැටිලා ස්ලිප් වෙනවා වෙන්නත් පුලුවන්.

අලුත් දාපු ක්ලච් එකක් ස්ලිප් වෙනවා නම් ඒත් ඔයිල් වැටීම නිසා වෙන්න පුලුවන්. ඊට අමතරව වැරදි release system adjustment එක, පළුදුවූ cable adjuster එක, සිරවූ clutch master cylinder port එක හෝ binding slave cylinder එක, වැරදියට සවිවූ release bearing, දෝෂ සහිත ෆ්ලයිවීල් එක හේතුවෙන්න පුලුවන්.

කොහොමද මේක චෙක් කරගන්නෙ? ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න. හයි ගියර් එකක දාලා ටිකක් හෙමින් යන්න. එන්ජිම රේස් වෙනවා නම් ලෙඩේ හැදිලා තියෙන්නෙ. ඒ වගේම තව විදිහක් තියනවා. වාහනේ නවත්තලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා වාහනේ රෝද වලට අඩ තියලා වාහනේ හයි ගියර් එකකට දාන්න. ඊට පස්සෙ හෙමින් ක්ලච් එක දෙන්න. ක්ලච් එක දෙනකොට එන්ජිම එකපාරටම නවතිනවා නම් ලෙඩක් නෑ. හැබැයි ක්ලච් පැඩල් එක සම්පූර්ණයෙන්ම නිදහස් කරලත් එන්ජිම දුවනවා නම් ලෙඩේ හැදිලා. අලුත්වැඩියා කරන්න වෙනවා.

අනිත් ක්ලච් ලෙඩ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු.

(Visited 1,655 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment