Torque Converter ලෙඩ

63

පසුගිය ලිපියෙන් අපි කතා කළ torque converter එක ගැන. දැන් ඔබට එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතැයි අප විශ්වාස කරනවා. ඉතිං torque converter එක ගැන විතරක් දැනගෙන හිටියට වැඩක් නැනේ. ඒකෙ එන්න පුලුවන් ලෙඩ ගැනත් අපි බලන්න එපැයි. ඔව් අද අපි කතා කරන්න යන්නෙ torque converteරේ එන්න පුලුවන් ලෙඩ ලක්ෂණ ගැන.

Torque converter එකේ ලෙඩ වෙන්කොට අරගෙන අලුත්වැඩියා කරනවා කියන්නෙ එතරම් පහසු වැඩක් නෙවෙයි. අනිවාර්යෙන් ගියර් බොක්ස් එක ගලවන්න වෙනවා. Torque converter එකේ ලෙඩක් එනකොට විවිධ ගැස්සීම, දෙදරීම, අමුතු ශබ්ද ඇති කරනවා. අපි දැන් බලමු මොනවද torque converter එක ආශ්‍රිතව එන ලෙඩ ලක්ෂණ කියලා.

Slipping
Torque converter එක එන්ජිමේ කැරකැවුම් බලය hydraulic pressure එකකට හරවා ගියර් පද්ධතියෙහි ගියර් මාරුවීමේ කටයුත්ත සිදුකරනවා. ඉතිං damage වුනු fin හෝ bearing නිසා shift delay වීම හෝ gear slip වීම සිදුවිය හැක. ඒ විතරක් නෙවෙයි ප්‍රමාණවත් ගියර් ඔයිල් නොමැතිකම නිසාද gear slip විය හැක. වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවීමටත් එය එක් හේතුවක්. ඒ නිසා නිතර ඔයිල් චෙක් කරන්න.

Overheating
Torque converter එකට ප්‍රමාණවත් තරම් ඔයිල් නොමැති වුවහොත් එහි fluid pressure එක බහිනවා. ඉතිං torque converter එක රත්වෙන්න පටන්ගන්නවා. ඉතිං torque converter එක overheat වුනොත් එන්ජිමෙන් එන බලය ගියර් පද්ධතියට යැවීම අසීරුවෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොච්චර වාහනය රේස් කලත් වාහනය එකම වේගයෙන් යෑම එම නිසා ගියර් පද්ධතිය ගෙවී යෑම වැනිදෑ සිදුවිය හැක.

Shuddering
Torque converter එක ඇතුළත ඇති lockup clutch එක ලෙඩ දෙන්න පටන්ගත්තොත් වාහනය සාමාන්‍යයෙන් පැයට සැතපුම් 30-45 පනිනකොට දෙදරන ගතියක් දැනෙන්න පටන්ගන්නවා. ඒවගේම ඔබ ඉතා රළු පාරක ගමන් කරනවා මෙන් දැනෙන්න පටන්ගන්නවා.

ඇත්තටම මේ lockup clutch එකෙන් වෙන්නෙ මොකක්ද? අපි දන්නවා එන්ජිමෙ එන බලය torque converter එකක් යොදාගනිමින් ඔයිල් ගමන් මාර්ගයක් හරහා තමයි ගියර් පද්ධතියට දෙන්නෙ. හැබැයි lockup clutch එකෙන් කරන්නෙ කෙලින්ම එන්ජිමේ බලය ගියර් පද්ධතියට දීම. නමුත් ඇයි එහෙම කරන්නෙ? එන්ජිමේ බලය ඔයිල් හරහා එනකොට බලය නාස්තිවීමක් වෙනවා. අන්න ඒ බලය නාස්තිවීම අවම කරන්න තමයි lockup clutch එක යොදලා තියෙන්නෙ. වාහනයේ වේගය වැඩිවන විට pressurized fluid lockup clutch එකට යනවා. එවිට lockup clutch එක torque converter එකට සම්බන්ධවී වේගය වැඩිකරදෙනවා. වාහනයේ වේගය අඩුවනවිට මේක විසන්ධි වෙනවා.

ඉතිං මේකෙ තියනවා ඩැම්පර් ස්ප්‍රින් වගයක්. ඕවගෙන් තමයි වැඩි වේගයකදි ඇතිවන දෙදරීම වළක්වන්නෙ. ඉතිං මේක ලෙඩ දුන්නම දෙදරීම ඇතිවෙන ආකාරයට දැන් අපට පැහැදිලියි.

Contaminated Transmission Fluid
Torque converter එක පිරිලා තියෙන්නෙ ATF ඔයිල් වලින්. ඉතිං මේ ඔයිල් අපිරිසිදු වුනොත් ඒකෙන් torque converter එක ඇතුලත කොටස් වලට විය හැකි හානිය හිතාගන්න පුලුවන්ද? මේකෙ ප්‍රතිඵලයක් ලෙස stator එකේ bearings ගෙවෙන්න පුලුවන් එහෙමත් නැත්නම් ටර්බයින් එකේ fins damage වෙන්න පුලුවන්. ඔබ ඔයිල් චෙක් කරන වෙලාවට ඔයිල් දුර්වර්ණවී හෝ රොඩු සහිත ගතියක් දැනුනහොත් ඉක්මණින් ඔයිල් මාරුකරන්න. පිරිසිදු ඔයිල්වල වර්ණය තද රතු පැහැ ගනියි.

Higher Stall Speed/Gear Engagement RPM
Stall speed එක කියන්නෙ torque converter එකට ගියර් පද්ධතියට සැපයිය හැකි එන්ජිමේ උපරිම RPM අගයයි. තවත් විදිහකට කිව්වොත් transmission එක විසින් දෙන්න පුලුවන් උපරිම වේගය දුන්පසු එතැනින් එහාට එන්ජිමේ වේගය ගියර් පද්ධතියට යෑම torque converter එක විසින් වළක්වන RPM අගයයි. Torque converter එක ඇතුළත ක්‍රියාකාරීත්වය ලෙඩ දුන්නොත් එවිට එන්ජිමේ වේගය ඔයිල් මඟින් නිසිලෙස ගියර් පද්ධතියට සම්ප්‍රේෂණය නොවේ. ඒවිට ගියර් ක්‍රියාකාරීත්වය පරක්කු වන අතර එම අවස්ථාවේ අප තවත් එන්ජිමට බලය ලබාදෙයි. එමඟින් සිදුවන්නෙ stall speed එක වැඩිවීමයි.

Strange/Unusual Sounds
Torque converter එකක් ලෙඩ දෙනකොට අපට දැනගත හැකි තවත් ක්‍රමයක් තමයි torque converter එකෙන් එන අමතු ශබ්දයන්. ඔබට ලෝහ ඇතිල්ලෙමින් කැරකෙන ශබ්දයක් ඇසෙනවා නම් ඒ බෙයාරින් ගෙවීගිය ශබ්දයයි. ලෝහ ගැටෙන හඬක් ඇසේ නම් ඒ ටර්බයින් ෆින් කැඩුනු ශබ්දයයි.

හරි අපි දැන් torque converter එකක මූලික ලෙඩ ලක්ෂණ කතා කරා. දැන් බලමු torque converter එකක එන මූලික ලෙඩ මොනවාද කියලා.

Bad Torque Converter Needle Bearings
Impeller, turbine සහ stator මේ සියල්ල නිදහසේ කැරකෙන්නෙ needle bearings නිසා. මේ බෙයාරින් තමයි කැරකැවෙන සියලු කොටස් housing එකෙන් වෙන්කොට තබන්නෙ. ඉතිං මේවා damage වුනාම මේ කොටස් housing එකේ ඇතිල්ලෙන්න පටන්ගන්නවා. එහි ශබ්දය ඔබට ඇහෙන්න පටන්ගන්නවා.

Damaged Torque Converter Seals
ඔබට ගියර් ඔයිල් ලීක් එකක් දැකගත හැකි වුනොත් ප්‍රශ්ණෙ තියෙන්නෙ සීල් වල. ඔබගේ torque converter එකට ප්‍රමාණවත් තරම් ඔයිල් නොමැති වුනොත් වෙන ප්‍රශ්ණෙ අපි මුලින් කතා කලා. ඒ නිසා සීල් ගෙවී හෝ පළුදුවී ඇත්නම් ඉක්මණින් මාරුකළ යුතුයි.

Worn Torque Converter Clutch
ඔටෝ ගියර් පද්ධතියක මෙ ක්ලච් එක එන්ජිම හා ගියර් පද්ධතිය direct drive එකකට ලොක් කරනවා. Torque converter එක අධික ලෙස රස්වීම නිසා damage වුනොත් එහෙමත් නැත්නම් අපිරිසිදු ඔයිල් නිසා damage වුනොත් ක්ලච් එකේ ක්‍රියාකාරීත්වය අඩපණවෙනවා. ඒවගේම ක්ලච් ප්ලේට් ගෙවුනමත් torque converter එක ගැස්සෙන්න වගේම direct drive එකට නොවැටී තියෙන්නත් පුලුවන්.

Faulty Torque Converter Clutch Solenoid
Torque Converter Clutch Solenoid එකෙන් කරන්නෙ lockup clutch එකට අවශ්‍ය ඔයිල් ප්‍රමාණය නිසියාකාරව ලබාදීමයි. මේක ඉලෙක්ට්‍රොනික් උපාංගයක්. මේක ලෙඩ දුන්නොත් lockup clutch එකට නිසියාකාරව ඔයිල් නොලැබීම නිසා එහි ක්‍රියාකාරීත්වය අඩපණවෙනවා.

(Visited 770 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment