දුනුමිටිය නඩත්තු කරමු

46

අද ලිපිය දුනුකොල සහිත වාහන හිමියන් වෙත. දුනුකොල මිටියක් කියන්නෙ අධික බරක් දරන වගේම නිතර චලනය වන කොටස් කිහිපයකින් සමන්විත කොටසක්. ඒ නිසා සෑම කිලෝමීටර 20,000කට සැරයක් දුනුකොල පරීක්ෂා කළ යුතුයි.

වාහනේ ජැක් කරන්න කලින් සමතලා බිමක නවත්වා මුලින්ම ටයර් වායුසම්පීඩනය එක සමානද බලන්න. ඒවගේම ඉන්ධන ෆුල් ටෑන්ක් තියෙන්නත් ඕන. ඉන්පසු වාහනේ පසුපසට ගොස් බිම ඉඳගෙන වාහනය පොළොවට සමාන්තරදැයි බලන්න. වාහනේ එක් පැත්තකට වඩා අනෙක් පැත්ත පහතයි නම් දුනුකොල අබලන්වී හෝ හානිවී තිබිය හැක. ගොඩක් වෙලාට තනි පාවිච්චියෙ තියන වාහනවල දිගු කාලීනව රියැදුරු අසුන පැත්තෙ දුනු බැහැලා තියෙන්න පුලුවන්, ඒවගේම නිතර භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන වල පසුපස දුනු බැහැලා තියෙන්න පුලුවන්.

වාහනේ දෙපසට ගොස් දුනුකොල මිටියේ ඉදිරිපස හෝ පසුපස ඇති දුනුකොල මිටිය වාහනයට සම්බන්ධ වන shackles පරීක්ෂා කර බලන්න. එය තිබිය යුත්තේ සිරස් අතටයි. එහි හැඩය වෙනස්වී ඇත්නම් එය දුනුකොලය අබලන් බව කියයි. වාහනයේ පැති දෙකෙහිම shackles වල හැඩය එක සමාන විය යුතුයි.

දුනුකොල පිරිසිදු කරන්නෙ කොහොමද?
සම්මත දුනුකොල මිටියක එකට ගැටගැසූ විවිධ දිග ප්‍රමාණයන්ගෙන් යුතු වානේ පටි කිහිපයක් අඩංගුවේ.

එකකදි මේ වානේ පටි එකිනෙක ඇතිල්ලීම දුනුකොල ගෙවීමට හේතුවේ. ඒ නිසා සමහර වාහනවලට එන්නෙ apered- profile single leaf spring, ඒ කියන්නෙ තනි දුනුකොලයක්.

ඒ වගේම දුනුකොල අතර සිරවෙන අපවිත්‍රදෑ නිසා දුනුකොල ඉක්මණින් ගෙවීම වගේම මලකෑමත් සිදුවනවා. ඒ නිසා දුනුකොල මිටියෙහි ආයු කාලය වැඩි කරගන්න නම් පිරිසිදුව තබා ගත යුතුයි.පරණම වාහනවලට ආපු දුනුකොල වලට නම් ලිහිසි තෙල් දාන්න ඕන ඝර්ශණය අඩු කරගන්න. හැබැයි මෑත කාලීනව ආපු දුනුකොල සහිත වාහන වලට එහෙම ඕන නෑ. හැබැයි ඒ දුනුකොලත් සිලිකන් සහිත ලිහිසි තෙල් වර්ගයකින් ස්ප්‍රේ කරාට කමක් නෑ.
හරි මුලින්ම වාහනේ ජැක් කරලා ටයර්, ගලවලා අයින් කරන්න. ඊට පස්සෙ වීල් නට් එක මදක් බුරුල් කරන්න. මතක තියාගන්න ජැක් කරනකොට ඇක්සලය යටට ජැක් කරන්න එපා. ඇක්සලය ඉදිරිපස චැසියට ජැක් කරන්න.

ඔන්න දැන් වාහනේ දුනු මිටියට තිබ්බ බර සැහැල්ලු වෙනවා. ඒත් එක්කම දුනුකොල අතර හිඩැසුත් හැදෙනවා. ඉතින් දුනුකොල පිරිසිදු කරන්න ලේසී. දැන් වයර් බ්‍රෂ් එකක් ගෙන හොඳින් පිරිසිදු කරගන්න. වයර් බ්‍රෂ් එකට පුලුවන් දුනුකොල අතර සිරවී ඇති කුණු වගේම මලකඩත් හොඳින් ඉවත් කරන්න. degreasing fluid එකක් ස්ප්‍රේ කරලා පිරිසිදු කරගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. ඒ වගේම shackles පිරිසිදු කරගන්නත් අමතක කරන්න එපා. දුනුකොල මිටියෙහි දෙපැත්ත උඩ යට සියලුම තැන් හොඳින් බ්‍රෂ් කරගන්න. පිරිසිදු කරගත් පසු නැවතත් සිලිකන් ලිහිසි තෙල් ස්ප්‍රේ පාරක් ගහන්න. හරි දැන් වැඩේ ඉවරයි. නැවත සියලු කොටස් සවි කරගන්න.

පිරිසිදු කරගත් පසු දුනුකොල සහ පරීක්ෂා කරමු

අපි අර මුලින් කිව්වා වගේ නැවතත් වාහනේ පරීක්ෂා කරලා බලන්න. වාහනේ ඇදයක් පෙනෙනවා නම් දුනුකොල මිටියට හොඳින් ළංවී පරීක්ෂා කරන්න. පිරිසිදු කළ නිසා දුනුකොල වල පළුදුවීම් ඉරිතැලුම් ඇත්නම් හොඳින් දැකගත හැක. මතක තියාගන්න කවදාවත් දුනුකොල පෑස්සුම් අලුත්වැඩියාවකට නම් යන්නම එපා. සම්පූර්ණ දුනුකොලයම මාරුකරන්න. පරීක්ෂාකරන්න දුනුකොලවල යට පැත්ත. වැඩි බරක් වැටෙන්නෙ දුනුකොල මිටියෙ යටම තියන කොට දුනුකොල වලට. ඉතින් යටම දුනුකොල උඩයට මාරු කරලා bind කරන්න. හැබැ‍යි පමණට වඩා පහත්වෙලා නම් මාරුකරන්න වෙනවා.

Shackle pins වල තත්වය පරීක්ෂා කර බලන්න. ඒවා නැවිලා හෝ මලකාලා තියෙන්න බෑ. එහෙම වුනොත් මාරුකරන්නත් අමාරුයි. ඒවගේම දුනුකොල ඇක්සලයට සම්බන්ධ U-bolt එකේ ඇන හොඳින් තදවෙලාදත් බලන්න. ඒක ලිහිල්වුනොත් දුනුමිටිය එහාමෙහා වෙලා ටයර් ගෙවෙන්නත් හේතුවක් වෙනවා. ඒවගේම බ්‍රේක් කරනකොට දෙදරන්නත් පුලුවන්.

U-bolt එක තද කරන්න කලින් දුනුකොල එහාමෙහා වෙලාද බලන්න. එහාමෙහා වෙලා නම් සුමට මිටියකින් දුනුකොල නිසිලෙස සකස් කළ පසු තද කරන්න. ඒගේම දුනුමිටය එකට තබන යූ හැඩැති ක්ලිප් වල තත්වයත් පරීක්ෂා කර බලන්න. බුරුල්වී හෝ හානිවී ඇත්නම් ඉක්මණින් පිළියම් කරන්න.

ඒවගේම දුනු බුෂ් පරීක්ෂා කරලා බලන්න. ගෙවී හෝ දිරාපත්වී ඇත්නම් මාරු කළ යුතුය. වාහනය වලවල් සහිත මාර්ගයක යනවිට “ඩක ඩක” ශබ්දයක් එනවා නම් දුනු බුෂ් ගෙවී තිබීම එක් හේතුවක්.

දුනු බුෂ් පරීක්ෂා කරන්නෙ කොහොමද?
ලීවරයක් ගෙන බුෂ් එක අතරට දමා එහාමෙහා කරන්න. බුෂ් එක හොඳයි නම් දුනුමිටිය එහාමෙහා නොවී නොසෙල්වී තිබිය යුතුයි. එහෙම නැත්නම් බුෂ් මාරු කල යුතුයි. බුෂ් හොඳයි නම් වයර් බ්‍රෂ් එකක් ගෙන shackle bolts එක්කම හොඳන් පිරිසිදු කරන්න.

ඒවගේම shackle bolts බුරුල්වෙලා නම් හොඳින් තද කරන්න. ඒත් එක්කම shackle bolts එක අවට මලකඩ එහෙමත් තියනවද කියලා පරීක්ෂා කරලා බලන්න. මිටියකින් තට්ටු කරලා බලන්න ලෝහ වලට තට්ටු කරාම එන ශබ්දයමද එන්නෙ කියලා. හොඳින් පිරිසිදු කළ පසු underbody sealant එකක් ගහන්න. ඒකෙන් මලකෑම වලකිනවා.

හරි දැන් බය නැතුව දුවන්න පුලුවන්.

(Visited 3,103 times, 1 visits today)
Share This:

Related posts

Leave a Comment